ඉන්දීය මංගල අඟහරු මෙහෙයුම වූ මංගල්යාන් අවසන් ගමන් යයි

ඉන්දීය මංගල අඟහරු මෙහෙයුම වූ මංගල්යාන් අවසන් ගමන් යයි

2008 නොවැම්බර් 23 වනදා ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය (ISRO) විසින් ඔවුන්ගේ පළමු අගහරු ගවේෂණ මෙහෙයුම පිළිබදව දැනුම් දෙන ලදී. මූලික අධ්‍යයනයන්ගෙන් පසු මෙහෙයුම අනුමත වූයේ 2012 අගෝස්තු 3 වන දිනයි. Chandrayaan-1 යානයේ ආකෘතියම සුළු වෙනස්කම්වලින් යුකුත්ව මෙම මෙහෙයුමට යොදා ගැනීමට තීරණය කළ නිසා වාර්තාගත කෙටි කාලයකින් අභ්‍යවකාශ යානාව ඉදි කිරීමට ඉන්දීය ඉංජිනේරුවන්ට හැකි විය.


සම්පූර්ණ ස්කන්ධය කිලෝග්‍රෑම් 1,337.2 ක් වූ යානයේ කිලෝග්‍රෑම් 852 ක්ම ඉන්ධන සහ ඔක්සිකාරක විය. මේවා භාවිතා කරන්නේ නිව්ටන් 440 ක තෙරපුම් බලයක් උත්පාදනය කරන ප්‍රධාන රොකට් එන්ජිම සහ නිව්ටන් 22 ක තෙරපුම් බලයක් උත්පාදනය කරන ප්‍රතික්‍රියා පාලක පද්ධතියේ කුඩා රොකට් එන්ජින් 8 යි. අගහරුගේ කක්ෂයට ඇතුල් වීම, කක්ෂයේ වෙනස්කම් සිදු කිරීම් ආදී කාර්යයන්ට ප්‍රධාන එන්ජිම භාවිතා කරන අතර යානය විවිධ දිශාවන්ට භ්‍රමණය කරන්නේ ප්‍රතික්‍රියා පාලක එන්ජින් මගිනි.

යානයට විදුලි බලය සැපයීමට වොට් 860 ක් තරම් සැපයිය හැකි වර්ග මීටර් 7.56 ක සූර්ය පැනලයක් යානයේ අඩංගු විය. එමෙන්ම පෘථිවිය හා සන්නිවේදනය කිරීමට රේඩියෝ ඇන්ටනා 3 කුත් යානයේ අන්තර්ගත විය. ප්‍රධාන ඇන්ටනාව මීටර් 2.2 ක විෂ්කම්භයකින් යුක්ත වූ අතර S පරාසයේ (2-4 GHz) රේඩියෝ තරංග හරහා සන්නිවේදනය සිදු කරන ලදී. ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයට බලවත් සන්නිවේදනය ජාලයක් නැත. ඒ නිසා NASA ආයතනයේ Deep Space Network සන්නිවේදන ජාලයේ උපකාරය අත්‍යවශය වේ.

මාස 15 ක් තරම් කෙටි කාලයකින් සංවර්ධන කටයුතු අවසන් වූ Mangalyaan නමින් නම් කළ යානය 2013 වසරේ අවසානයේ ඇති දියත් කවුළුවේ දියත් කිරීමට ඉලක්ක කරන ලදී. ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය සතු බලවත්ම රොකට්ටුව වූ Geosynchronous Satellite Launch Vehicle මගින් දියත් කිරීමට මුළින් සැලසුම් කළත් එහි මතුවී තිබූ ගැටළු නිසා බලයෙන් අඩු Polar Satellite Launch Vehicle රොකට්ටුව මගින් මෙය දියත් කිරීමට තීරණය කරන ලදී. නමුත් මේ රොකට්ටුවට මෙය අගහරු බලා දියත් කිරීමට හැකියාවක් නැත. ඒ නිසා යානයේ එන්ජිම මගින් අවසන් ප්‍රවේගය ලබා ගත යුතු වේ. එහි තෙරපුම් බලය අඩු නිසා තනි එන්ජින් දහනයකින් යානය ත්වරණය කිරීම ඉන්ධන පිරිමැසුම්දායී නොවේ. ඒ නිසා එන්ජින් දහන කිහිපයක් මගින් කක්ෂයේ ඉලිප්සාකාර බව වැඩි කර අවසානයේ අගහරු බලා යන බහුවලයික කක්ෂයකට ඇතුල් වීමට තීරණය කරන ලදී.

Mangalyaan යානය රැගත් PSLV-XL රොකට්ටුව 2013 නොවැම්බර් 5 වනදා 5 වනදා ඉන්දියාවේ Satish Dhawan අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් විය. ඝන ඉන්ධන බූස්ටර් 6 සහ රොකට්ටුවේ අදියර 4 දහනය අවසානයේ යානය කිලෝමීටර් 264.1 x 23,903.6 x 19.20º පෘථිවි කක්ෂයකට ඇතුල් විය. ඉන්පසු යානයේ සූර්ය පැනල සහ ඇන්ටනා විවෘත කළ අතර කක්ෂය ඉහළ දැමීමේ එන්ජින් දහනයන්ට සූදානම් විය. ඉන්පසු මාසයක් පුරා යානයේ එන්ජින්දහන මගින් කක්ෂය ඔසවා ගෙන දෙසැම්බර් 1 වනදා අගහරුට යෑමට අවශ්‍ය ප්‍රවේගය ලගා කර ගැනීමට සමත් විය.

මාස 10 ක ගමන අවසානයේ යානය අගහරුට ආසන්න විය. ඉන්පසු 2014 සැප්තැම්බර් 24 වනදා යානය තත්පර 1388.67 ක එන්ජින් දහනයක් කරමින් අගහරුගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇතුළු විය. යානය මුළින්ම ඇතුළු වූයේ ඉතාමත් ඉහළ ඉලිප්සාකාර කක්ෂයකටයි. පැය 73 කට ආසන්න ආවර්ත කාලයක් ඇති මේ කක්ෂය කිලෝමීටර් 421.7 x 76,993.6 ක් විය. මේ සියළු එන්ජින් දහනයන් අවසන් වන විට පෘථිවියෙන් දියත් කරන විට තිබූ මෙට්‍රික් ටොන් 1 කට ආසන්න ඉන්ධන/ඔක්සිකාරකවලින් ඉතිරිව තිබුනේ කිලෝග්‍රෑම් 40 ක් පමණි. මෙයින් පසුව ප්‍රධාන වශයෙන් ඉන්ධන විශාල වශයෙන් භාවිතා කරන ප්‍රධාන එන්ජින් දහන සීමිත වේ. නිතරම සිදු කරන්නේ ඉන්ධන ඉතා අඩුවෙන් වශයෙන් භාවිතා කරන ප්‍රතික්‍රියා පාලක පද්ධතියේ එන්ජින් දහනයන්ය.

යානය අගහරු වටා කක්ෂයට ඇතුළු වන කාලයේදී අගහරුට වල්ගාතරුවක් ආසන්න වෙමින් පැවතුණි. Siding Spring නමින් හැදින්වූ මේ වල්ගාතරුව ඔක්තෝබර් 19 වනදා අගහරුට කිලෝමීටර් 140,500 ක් තරම් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත වූ අතර Mangalyaan යානය වල්ගාතරුව නිසා මුහුණ පෑමට සිදු වන ගැටළු අවම කර ගැනීම සදහා කක්ෂය වෙනස් කර ගත්තේ ඔක්තෝබර් 14 වන දිනයි. කිලෝග්‍රෑම් 1.9 ක් ඉන්ධන වැය වූ මෙම එන්ජින් දහනයෙන් යානයේ කක්ෂයේ පහත්ම ස්ථානය කිලෝමීටර් 72,000 දක්වා පහත් කළ අතර වල්ගාතරුව අගහරුට ආසන්නයෙන් ගමන් කරන විට යානය අගහරුගේ අනිත් පැත්තේ පැවතුණි.

මෙයින් පසු යානය විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කළ අතර 2015 මාර්තු 24 වනදා ප්‍රාථමික මෙහෙයුම් කාලය වූ මාස 6 අවසන් කරන ලදී. ඒ වන විට ඉන්ධන කිලෝග්‍රෑම් 37 ක් ඉතිරිව පැවති නිසා මෙහෙයුම දිගටම සිදු කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය තීරණය කරන ලදී.

යානය අගහරු වටා ගමන් කරන විට සමහර අවස්ථාවල අගහරු නිසා සූර්යාලෝකය අවහිර වේ. මෙවන් සූර්යග්‍රහණවලදී යානයේ බැටරි මගින් යානයේ ක්‍රියාකාරිත්වයට විදුලිය සපයයි. නමුත් යානයේ බැටරි ප්‍රමාණවත් වන්නේ මිනිත්තු 100 කට පමණි. මීට වඩා වැඩි සූර්යග්‍රහණයක් ඇති වේ නම් ඊට පෙර යානයේ කක්ෂය වෙනස් කර යානය අක්‍රිය වීම වළකාගනියි. 2017 ජනවාරි 17 වනදා මෙවන් එන්ජින් දහනයක් සිදු කරන ලදී. යානයේ ඉන්ධන කිලෝග්‍රෑම් 20 ක් පමණ වැය කරමින් සිදුකළ මෙම එන්ජින් දහනය මගින් යානයේ ප්‍රවේගය තත්පරයට මීටර් 97.5 ක් පමණ වෙනස් විය.

මාස 6 ක් ක්‍රියා කිරීමට සැලසුම් කළ යානය අගහරුගේ කක්ෂයේ දින 1,000 පසු කරන්නේ 2017 මැයි 19 වනදායි. මේ වන විට යානය අගහරු වටා කක්ෂ 388 ක් සම්පූර්ණ කර පැවති අතර යානයේ උපකරණ හොද තත්වයේ පැවතුණි.

නමුත් 2022 අප්‍රේල් මස යානය දීර්ඝ සූර්යග්‍රහණයකට මුහුණ දුන් අතර ඉන්පසු යානය සමග රේඩියෝ සම්බන්ධය අවසන් විය. ඉංජිනේරුවන් සිතන්නේ සූර්යග්‍රහණයේදී බැටරිවල විදුලිය අවසන් වීම හෝ අවසන් වෙමින් පැවති ඉන්ධන සැපයුම අවසන් වීම නිසා යානයට සූර්ය ග්‍රහණය අවසානයේදී සූර්ය පැනල් සූර්යයා දෙසට හැරවීමට අපොහොසත් වීම මෙයට හේතු වන්නට ඇති බවයි. මාස කිහිපයකට උත්සාහයකින් පසු ඔක්තෝබර් 02 වනදා Mangalyaan මෙහෙයුම නිල වශයෙන් අවසන් වන ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය විසින් දැනුම් දෙන ලදී.

අගහරුගේ කක්ෂයට සාර්ථකව ඇතුළු වූ සිව්වන රට වන ඉන්දියාව තම පළමු අගහරු මෙහෙයුමම අති සාර්ථක කර ගැනීමට සමත් විය. මේ වන විටත් 2024 වසරේදී දියත් කිරීමට නියමිත Mangalyaan 2 යානය සංවර්ධනය කරමින් පවතින අතර Mangalyaan යානයෙන් එවූ දත්ත ඇසුරින් විද්‍යාඥයින් අගහරු පිළිබදව අළුත් තොරතුරු සොයා ගැනීමට සමත් විය.

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka