න්‍යෂ්ටික බලාගාර සමඟින් මීලඟ චර්නොබිල් වන්නේ ශ්‍රී ලංකාවද? 👀

න්‍යෂ්ටික බලාගාර සමඟින් මීලඟ චර්නොබිල් වන්නේ ශ්‍රී ලංකාවද? 👀

මේ දිනවල කෙළවරක් නොමැතිව නැවත නැවත චර්නොබිල් සහ ෆුකුෂිමා අනතුරු ගැන අහන්න වෙලා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකා රජය න්‍යෂ්ටික තාක්ෂණය වෙත ප්‍රවිශ්ඨ වෙන්න තීරණය කරලා තිබීම සහ එයට සැළකිය යුතු පිරිසකගේ විරෝධය එල්ලි වී තිබිමත් බවයි පේන්න තියෙන්නේ.

චර්නොබිල් වගේ දෙයක් බටහිර න්‍යෂ්ටික බලාගාරවල (ඒ කියන්නෙ ඇමරිකාව, ජපානය, ජර්මනිය වගේ රටවල් සහ මේ වෙන විට රුසියාව සාදනු ලබන න්‍යෂ්ටික බලාගාර) තාක්ෂණිකව වෙන්න බැරි ඇයි කියන එක ගැන මම කළින් ලිපියක් ලියලා තියෙනවා. එහෙම වුවත්, අපේ අයට තාක්ෂණික කරුණු එතරම් වැඩක් නොමැති නිසා, න්‍යෂ්ටික බලාගාර වලින් කොමිස් ගන්න එක ගැන ලිව්වා වගේ තාක්ෂණික කරුණු පැත්තකට දාලා සාමාන්‍ය දැනීමෙන් මේකට උත්තර දීම හොඳ බව පේන්න තියෙනවා. ඒ හේතුව නිසයි මේ ලිපිය ලිය වෙන්නේ.

ලොකුම ප්‍රතිතර්කය වෙන චර්නොබිල් බලාගාරය

මෙතනදි ලොකුම ප්‍රතිතර්කය වෙන චර්නොබිල් බලාගාරය ගැන මුලින්ම කිව යුතු කාරණය වෙන්නෙ චර්නොබිල් බලාගාර තාක්ෂණය බිහි වෙන්නෙත්, වර්ධනය වෙන්නෙත් ඉතාම විශේෂිත දේශපාලනික සහ තාක්ෂණික පසුබිමක් මත බව. ඒ ගැන වෙනම ලිපියක් ලියන්න මම බලාපොරොත්තු වෙනවා. චර්නොබිල් වර්ගයේ බලාගාර ඉදි කෙරෙන්න හේතුභූත වෙච්ච දේශපාලනික හෝ තාක්ෂණික කාරණා අද වලංගු වෙන්නෙ නෑ. ඒ වගේම ඒවා ලංකාවට කිසිසේත්ම අදාල වෙන්නෙත් නෑ. ඒ නිසා ලංකාවෙ අපිට චර්නොබිල් මොඩලය ඉදි කිරීමට කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා එවැනි අනතුරක අවදානමක් අපට ඇති වෙන්න බෑ.

ආපහු චර්නොබිල් හෝ ෆුකුෂිමා ආකාරයේ අනතුරක් විය හැකිද ?

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඉදි කරලා තියෙන්නෙ 1970 දශකයේ. එය ක්‍රියාත්මක කෙරෙන්නෙ  1977 සැප්තැම්බර් මාසයේ. ෆුකුෂිමා-ඩායිචී න්‍යෂ්ටික බලාගාරය ඉදි කෙරෙන්නෙ ඊටත් පෙර. එය 1967 ඉදිකිරීම් ආරම්භ වෙලා 1971 දි ක්‍රියාත්මක කෙරුණා. මේ බලාගාර දෙකම අයිති වෙන්නෙ න්‍යෂ්ටික බලාගාර වල දෙවන පරම්පරාවට. අදත් චර්නොබිල් හෝ ෆුකුෂිමා බලාගාර ගැන කියමින් න්‍යෂ්ටික තාක්ෂණයට විරුද්ධ වෙන අය නොහිතා හෝ හිතාමතා ම අමතක කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි තාක්ෂණය කියන්නෙ ස්ථිතික (static) පද්ධතියක් නොවෙන බව. තාක්ෂණය එක තැන ගල් වෙලා තියෙන්නෙ නෑ. ඒක ඉතාම වේගයෙන් පරිණාමය වෙනවා. අපි අවුරුදු 10කට කළින් පාවිච්චි කළ ජංගම දුරකථන සහ අද භාවිතා කරන සුහුරු දුරකථන අතර තියෙන තාක්ෂණික වෙනස මේ සඳහා හොඳ උදාහරණයක්.

මේ විදියට තාක්ෂණික ක්ෂේත්‍රයක් පරිණාමය වෙනකොට, ඒ සඳහා දායක වෙන පිරිස් සහ ආයතන සමස්තයක් විදියට උත්සාහ කරන්නෙ පැවති තාක්ෂණික නිර්මාණ වලට වඩා උසස්, උපයෝගීතාවය වැඩි නිර්මාණයක් කරන්න. මෙතන දි ඒ පැවති තාක්ෂණික මොඩල වල ආරක්ෂණ පද්ධති ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම කෙරෙනවා. උදාහරණයක් විදියට මෝටර් රථ තාක්ෂණය දිහා බලන්න. අපි අද 1970 දශකයේ තිබූ මෝටර් රථ නිෂ්පාදනය කරන්නෙ නෑ. අද මෝටර් රථ වල තාක්ෂණික හැකියාවන් ඒ කාලෙ ඒවට වඩා ඉතාම උසස්. ඒ වගේම මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තම මේ අළුත් රථ වාහන වල තියෙන ආරක්ෂණ පද්ධති වඩා කාර්‍යක්ෂමයි වගේම ඵලදායී බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ගුවන් යානා තාක්ෂණය ගත්තත්, 1970ට පෙර තිබූ ගුවන් යානා තාක්ෂණයට වඩා අද ගුවන් යානා වල තාක්ෂණික කාරණා ඉතාම ඉහළයි. මේ විදියට ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක් ක්‍රමික ව දියුණු වෙනවා. ඒ වෙනුවෙන් නොකඩවා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් පර්‍යේෂණ කෙරෙනවා.

මේ විදියට තාක්ෂණයේ තියෙන ගතික (dynamic) ස්වභාවය නිසා එහි වන දුර්වලතා ක්‍රමයෙන් ඉවත් වීමත් වෙනවා. නිතර දෝෂ ඇති වෙන පද්ධති, කාර්‍යක්ෂමතාවය අඩු යන්ත්‍රෝපකරණ ක්‍රමික ව භාවිතයෙන් සහ නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා. දෝශයක් මගින් කෙරෙන මූල්‍ය සහ වෙනත් අලාභ, ඒ පවත්වාගෙන යාමෙන් ලැබෙන වාසියට වඩා ඉතාම වැඩියි. ඒ නිසා දෝශ සහිත තාක්ෂණික කොටසක් හඳුනාගත් සැණින් එය නිෂ්පාදනයෙන් ඉවත් කිරීම නුවණට හුරුයි. තත්ත්වය එහෙම නම්, දෝශ සහිත බව තහවුරු වූ චර්නොබිල් මොඩලය පවත්වාගෙන යාමට න්‍යෂ්ටික තාක්ෂණයේ යෙදෙන කිසිවෙකුට කිසිම හේතුවක් ඇත්තේ නෑ. චර්නොබිල් හි වූ RBMK මොඩලය අද කිසිම හේතුවක් මත ඉදි කෙරෙන්නෙ නෑ. අපට අවශ්‍ය උනත්, එවැන්නක් ඉදි කරන්න අපට අවසර ලැබෙන්නෙ නෑ. එහෙම පසුබිමක "චර්නොබිල් වගේ වෙයි" යැයි කීමෙන් තහවුරු කළ හැකි කිසිම තර්කයක් නෑ.

අනතුරෙන් පසු චර්නොබිල් බලාගාරයේ සිව්වැනි ඒකකය - History Extra

තාක්ෂණය සිය වැරදි වලින් ඉගෙන ගන්නවා. ඒ වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. එවැනි වරදක් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉතා සවිස්තරාත්මක සොයාබැලීම්, පරීක්ෂණ කෙරෙනවා. වැරදීම් මිල අධිකයි. ඒ නිසා එකම වරද යළි යළි කරන්න හෝ ඒ සඳහා ඉඩ තියන්න තරම්, මිල අධික තාක්ෂණික ක්ෂේත්‍රයක වන මිනිසුන්ට පිස්සුවක් ඇත්තේ නෑ.

පසුගිය මාර්තු 11 වනදාට වර්ෂ 12 ක මතකය සටහන් කළ ෆුකුෂිමා-ඩායිචී බලාගාර අනතුර උනත් ඒ වගේමයි. අනතුරෙන් පසුව ලෝකයේ තියෙන එම වර්ගයේ සියලුම න්‍යෂ්ටික බලාගාර අක්‍රීය කරලා වහාම එවැනි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරන්න බලාගාර ක්‍රියාකරුවන්ට සිද්ධ වෙනවා. ජපානය මේ වන විටත් ක්‍රමයෙන් ඒ බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා නියාමන අවසරය ලබා ගනිමින් එකින් එක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ මොඩලය මත පදනම් වෙන නව බලාගාර ඉදි වෙන්නෙම ඒ අඩුපාඩු නිවැරදි කිරීමෙන් වගේම වෙනත් විය හැකි සියලු ප්‍රශ්න ගැන අධ්‍යයනය කිරීමෙන් සහ ඒ සඳහා ප්‍රමාණවත් විසඳුම් යෙදීමෙන් පස්සෙ.

මේ නිසා තමා 1970 දශකයට කළින් ගුවන් යානා අනතුරු ගැන දැන දැන උනත්, නවීන ගුවන් යානයක යන්න අද බයක් (වෙනත් ඕනෑම අනතුරක් මෙන් ම, ගුවන් යානයක් කඩා වැටීමට ඇති සම්භාවිතාවයත් කිසිදා ශූන්‍ය කළ නොහැකියි) ඇති නොවෙන්නෙ. 1975 දී මිනිස් ජීවිත දෙලක්ෂයක් පමණ අහිමි කරමින්, කෝටියක පමණ ජනතාවක් අවතැන් කරමින් සහ ලක්ෂ පණහක් පමණ නිවාස සම්පූර්ණයෙන් විනාශ කර දැමූ චීනයේ බංකියාවෝ වේලි අනතුර සිදු වී තිබියදී ත්, අපිට වික්ටෝරියා වේල්ල ගැන අමුතු බයක් ඇති නොවෙන්නෙ. මින් අදහස් කෙරෙන්නෙ 1975 දී වේල්ලක සිදු වූ අනතුරක් නිසා අපි අද වික්ටෝරියා වේල්ල ට එරෙහි වීම අර්ථ ශූන්‍ය බවම තමයි.

අපි න්‍යෂ්ටික බලාගාර තරම් මේ වගේ සිද්ධි ගැන අවධානය යොමු කරන්නෙ නෑ. න්‍යෂ්ටික බලාගාර අනතුරු තරම් මේ ගැන සාකච්ඡා වෙන්නෙත් නෑ. එතැන වෙනම දේශපාලනයක් තියෙනවා. ඒ ගැනත් මම ලියලා තියෙන නිසා ආයෙත් මතක් කරන්න අවශ්‍ය නෑ.

න්‍යෂ්ටික තාක්ෂණයේ ආරක්ෂිත බව තහවුරු කිරීම ගැන ලෝකය පුරාම විද්‍යාඥයන් දහස් ගණනක් පර්‍යේෂණ කරනවා. ඒ පර්‍යේෂණ වල ප්‍රතිඵල තමන්ගේ නව බලාගාර මොඩල වලට එකතු කරගන්න ඒ ඒ නිෂ්පාදකයන් කටයුතු කරනවා. ජර්මනිය, 1970-1980 දශක වල දී, එවක පැවති න්‍යෂ්ටික බලාගාර වල විය හැකි බරපතල ආපදා වැළැක්වීම සඳහා සිදු කළ විශිෂ්ට පර්‍යේෂණ වල විස්තර මම පෞද්ගලිකව දැකලා තියෙනවා. ඒ පර්‍යේෂණ වල ප්‍රතිඵල අද ලෝකයේ ප්‍රමුඛ න්‍යෂ්ටික බලාගාර ඉදි කරන්නන් විසින් යොදාගන්නා බවත් මා දකිනවා.

තරමක් දීර්ඝ උනත්, සමස්තයක් විදියට මගේ තර්කය ඉතා සරලයි. 1970 දී ඉදි කළ ආකාරයෙන් මෝටර් රථයක්, ගුවන් යානයක්, උස් ගොඩනැගිල්ලක්, හෝ වේල්ලක් වත් ඉදි නොකරන අපි, 1970 දශකයේ ඉදි කළ, දෝෂ සහ අඩුපාඩු සහිත න්‍යෂ්ටික බලාගාර දෙකක් අද ඒ ආකාරයෙන් ම ඉදි කරන්න කිසිම හේතුවක් නෑ. එහෙම හිතලා තර්ක කරන එක ඉතා දුර්වල, අවලංගු වූ කරුණු දැක්වීමක්.

ඒ වගේම මීට පෙර න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත පිළිබඳ තොරතුරු ගෙන ආ ලිපිය ඔබට මෙතනින් බලන්න පුලුවන්.

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha