මිලියන 10ක downloads වාර ගණනක් පසු කල ප්‍රථම ශ්‍රී ලාංකිය app එක ලෙස හෙළකුරු කිරුළු පලඳී

මිලියන 10ක downloads වාර ගණනක් පසු කල ප්‍රථම ශ්‍රී ලාංකිය app එක ලෙස හෙළකුරු කිරුළු පලඳී

Keyboard එක, එහෙමත් නැත්තම් යතුරු පුවරුවක් කියන්නෙ මේ වෙනකොට Digital ලෝකයේ නැතුවම බැරි මූලික අවශ්‍යතාවයක් වෙලා ඉවරයි. අද වෙනකොට සිංහල භාෂාව සඳහා වන mobile keyboards විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන අතරතුරේ, මුලින්ම අපිට සිංහල භාෂාවෙන් ජංගම දුරකතන වල අකුරු කරන්න අවස්ථාව ලබා දුන් හෙළකුරු ගැන තමයි අපි අද මේ කතා කරන්න යන්නෙ

ඉතිං පසු ගිය දිනෙක හෙළකුරු යෙදුම Google Playstoreහි download වාර ගණන මිලියන 10 පසු කරා. ඒත් එක්කම මිලියන 10ක downloads වාර ගණනක් පසු කල ප්‍රථම ශ්‍රී ලාංකිය Android ජංගම දුරකතන යෙදුම විදිහටත් හෙළකුරු හඳුන්වන්න පුලුවන්.

හෙළකුරේ ප්‍රථම ආගමනය

හෙළකුරු ප්‍රථම release එකේ about screen එකේ screen shot එකක්

ඔයා 2011ට කලින් Android phone එකක් හරි 2015ට කලින් iPhone එකක් භාවිතා කරපු කෙනෙක් නම් ඔයාට මතක ඇති ඒ වෙනකන් ලංකාවේ අපිට ජංගම දුරකතනයෙන් සිංහල භාෂාවෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිංහල භාෂාව සඳහා වන යතුරුපුවරුවක් තිබුනේ නෑ කියන එක. නමුත් මේ අඩුපාඩුව හඳුනාගත් ධනික පෙරේරා ඇතුලු භාෂා ආයතනයේ කණ්ඩායම 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දෙවෙනිදා BMICH පරිශ්‍රයේදී පළමුවරට ලොව පුරා සිටින සිංහල භාෂාව භාවිතා කරන්නන් හට Android මෙහෙයුම් පද්ධතිය සදහා වන ප්‍රථම සිංහල යතුරු පුවරු යෙදුම හඳුන්වාදීම සිදු කෙරුනා.

Dhanika Perera, Founder & CEO of Bhasha introducing Bhasha Helakuru to Minister of Science & Technology, Prof. Tissa Vitarana & Minister of Telecommunication & IT, Ranjith Siyambalapitiya.(Image source: ITN News, 02-12-2011)

iOS සඳහා හෙළකුරු 2015දී

2011දී Android මෙහෙයුම් පද්ධතිය සඳහා හෙළකුරු නිකුත් වුවත් Apple සමාගමේ iOS මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන iPhone සඳහා වන හෙළකුරු යෙදුම නිකුත් වන්නේ 2015 වර්ෂයේ ජූලි මාසයේ 17 වන දිනදීය. Apple සමාගම විසින් iOS මෙහෙයුම් පද්ධතිය සඳහා තෙවන පාර්ශවීය යතුරු පුවරු යෙදුම් සඳහා වන සහය ලබා දීම ආරම්භ කරේ 2014 වර්ෂයේදී වීම එයට හේතුව වුනා.

iPhone සහ iPad සඳහා ප්‍රථම වරට හෙළකුරු නිකුත් කිරීමේදී ඒ සඳහා භාෂා ආයතනය විසින් භාවිතා කල දැන්වීම

iOS සඳහා වන හෙළකුරු යෙදුම සඳහා භාෂා ආයතනය විසින් Smart Phonetic Layout එක සහ Smart Wijesekara Layout යන ආකර දෙකෙන්ම type කිරීමේ පහසුකම ලබා දී තිබීමත් මෙහි තිබූ විශේෂත්වයක් උනා. iOS සඳහා වන ප්‍රථම සිංහල යතුරු පුවරුව වන්නේද හෙළකුරු වීම තවත් විශේෂත්වයක් වෙනවා.

හෙළකුරු සඳහා Prediction පහසුකම

2013 වර්ෂයේදී හෙළකුරු යෙදුමට Word prediction පහසුකමද ඇතුලුව තවත් පහසුකම් කිහිපයක සහිතව වෙනදාටත් වඩා වේගයෙන් සහ සුමටව type කිරීමේ හැකියාව ලබා දෙමින් Helakuru 2.0 සංස්කරණය 2013 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කරනු ලැබුවා.

එහිදී හෙළකුරු යෙදුම විසින්, එහි පරිශීලකයා type කරන වචන සෑම එකක්ම ජංගම දුරකථනයේම ඇති හෙළකුරු යෙදුමේ දත්ත ගබඩාවකට ඇතුලත් කරමින් ඉදිරියේදී type කරන විට අනාවැකි ලබා දී අදාල රචනයන් වේගවත් සිදු කිරීමට හැකියාව ලැබුනා. එය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයටම ලබා දීමත් විශේෂත්වයක්.

හෙළකුරු සඳහා වචන අනාවැකි සේවා ලබා දීම හඳුන්වාදීමේ වීඩියෝව.

ප්‍රථම වරට මෙම සේවා හඳුන්වාදීමේදී එය දින 30ක trail period එකකට ලබා දීම සිදු කල අතර දින 30ක කාලයට පසුව එම පහසුකම භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රුපියල් 199ක මුදලක් ගෙවිය යුතු වූ නමුත් වැඩි කාලයක් නොගොස්ම එම පහසුකම 100%ක්ම නොමිලේ ලබාදීමට භාෂා ආයතනය විසින් කටයුතු කලා.

කතා කරනකොට type කරන voice typing හෙළකුරුට

2017 වර්ෂයේ අගෝස්තු 18 වන දින හෙළකුරු 4.2 සංස්කරණය සමඟින් voice typing ලබා දීම සිදු කරනවා. ඒ හරහා අතින් type කරනවාට වඩා ඉක්මනින් කටහඬින් type කිරීමේ හැකියාව හෙළකුරු පරිශීලකයන් හට හිමිවනවා. මෙම පහසුකම Android ජංගම දුරකතන සඳහා වන යෙදුමට පමණක් ලබා දුන් අතර Apple සමාගමේ ඇති ඇතැම් සීමාවන් නිසා iOS සඳහා වන හෙළකුරු යෙදුමට මේ වන තුරුත් voice typing පහසුකම ලබා දීමට නොහැකි වී තිබෙනවා.

මේ සඳහා භාෂා ආයතනය විසින් භාවිතා කරන්නේ Google සමාගමේ Google Speech පහසුකම ලංකාවට සරිලන ආකාරයට optimize කිරීමෙන් අනතුරුවයි. ඒ හරහා voice typing ඉතාමත් උසස් මට්ටමකින් භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබා දීමට භාෂා ආයතනය වගබලාගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපට පහත වීඩියෝවෙන් බලාගත හැකියි.

Voice typing පහසුකම ජංගම දුරකතනයට පමණක් සීමා නොවී 2017 වර්ෂයේ අගෝස්තු 25 වන දින පරිගණකය සඳහාද හෙළකුරු voice typing පහසුකම https://helakuru.lk වෙබ් අඩවිය ඔස්සේ ලබා දීම සිදු කරනවා. ඒ හරහා පරිගණකය හරහාද ඉක්මනින් සහ පහසුවෙන් සිංහල typing කරගැනීමේ පහසුකම පරිශීලකයන්ට ලැබුනා.

Keyboard එකෙන් Super App සංකල්පයට ආපු හෙළකුරු

කාලයේ ඇවෑමත් සමඟ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් අතර භාවිතා වන සහ වැඩිම ශ්‍රී ලාංකීය පිරිසක් හිමි ජංගම දුරකතන යෙදුම ලෙස හෙළකුරු පත්වීමත් සමඟම, ඒ හරහා තම පරිශීලකයන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කරන ඩිජිටල් සේවාවන් රැසක් එක දුරකතන යෙදුමක් හරහා අත්විඳීමේ හැකියාව ලබා දීම සඳහා හෙළකුරු ක්‍රම ක්‍රමයෙන් Super App එක බවට පත්විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලොව පුරා සිග්‍රයෙන් පැතිර ‍යන කොරෝනා වසංගතයේ එදිනෙදා තොරතුරු පමාවකින් තොරව තම පරිශීලකයන් අතරට ගෙනයාමේ හැකියාව හෙළකුරු සතු විය.

එමෙන්ම එසැණ සේවාව හරහා මේ වන විට කාටත්ම කලියෙන් දේශීය, විදේශීය, ක්‍රීඩා, කාලගුණ, දේශපාලනික සහ තවත් කාණ්ඩයන්ගෙන් පුවත් තම පරිශීලකයන් වෙතට ගෙන යාමේ සේවාවද මේ වන විට විශාල පිරිසකගේ පැසසුමට ලක් වී ඇත.

මීට අමතරව පහත සේවාවන් හෙළකුරු Super App හරහා තම පරිශීලකයන් වෙත ලබා දීමට භාෂා ආයතනය කටයුතු කර ඇත.

  • නිවේදන
    නිවේදන නම් පහසුකම හරහා මහජනයා වෙත රජය මඟින් නිකුත් කරන නිල නිවේදන ගැන ඉතා ඉක්මණින් මහජනයා වෙත ගෙන යාම සිදු කෙරෙන අතර ඒ සඳහා අදාල තොරතුරු ලබා ගැනීමේ මූලාශ්‍ර ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනාධිපති මාධ්‍ය අංශය කටයුතු කරයි.
  • විස්ම
    විස්ම කියන්නේ හෙළකුරු යෙදුම විසින් ලොව පුරා වාර්තා වන තාක්ෂණික තොරතුරු හෙළකුරු පරිශීලකයන් වෙත ලගා කරන පහසුකමකි. මෙම සේවාව සඳහා අදාල තොරතුරු සැපයීම සිදු කරන්නේ Android වැඩකාරයෝ වෙබ් අඩවිය වන අප විසින් බව මහත් සාඩම්බරයෙන් ප්‍රකාශ කර සිටින්නට කැමැත්තෙමු.
  • හෙළකුරු සමාජ වේදිකාව
    මේ හරහා හෙළ නිර්මාණ වේදිකාව ලෙස සිතළු යන පහසුකමත්, කාලීන සංවාද වේදිකාව ලෙස එසැණ ප්‍රතිචාර පහසුකමත්, හෙළකුරු පරිශීලකයන්ට ලුහුඬු දැන්වීම් පලකිරීම සඳහා වේදිකාවක් ලෙස හෙළAds පහසුකමත් හඳුන්වා දී ඇත.
  • හෙළකුරු ගෙවීම් සේවා
    මේ හරහා හෙළකුරු විසින් ජංගම දුරකතන සඳහා වන දුරකතන ගෙව්ව්ම් වලට රීලෝඩ් පහසුකමත්, වෛද්‍යවරයෙකු චැනල් කිරීම සඳහා අවශ්‍ය ගෙවීම් කිරීමට චැනලින් නම් පහසුකමත්, ගෙහර දොර එදිනා භාවිතා වන සේවාවන් සඳහා වන බිල්පත් වලට ගෙවීම් කිරීම සඳහා බිල්පත් පහසුකමත් මෙන්ම අන්තර්ජාල වෙළඳ ගෙවීම් සඳහා හෙළPay පහසුකමත් හඳුන්වා දී ඇත.

Super App එකක් වීමත් සමඟ හෙළකුරු ක්‍රියා කරන්නේ කෙසේද?

මේ වන විට ඇතැම් පිරිස් විසින් Android වැඩකාරයෝ Facebook සමූහය තුල සහ එයින් පිටතදී පවා නගන චෝදනාවක් වන්නේ හෙළකුරු Super App එකක් බවට පත් කිරීමත් සමඟ එහි ඇති performances වලට බලපෑමක් ඇති වී ඇති අතර එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ හෙළකුරු යෙදුම සමඟ තවත් සේවා හඳුන්වා දීමයි.

Android වැඩකාරයෝ අප විසින් හෙළකුරු Super App එක පරික්ෂා කර බලා ඇති අතර එහිදී අප හට සනාථ වූයේ හෙළකුරු යතුරු පුවරුව එම යෙදුම හරහා background process එකක් ආකාරයට කටයුතු කරන අතර හෙළකුරු යෙදුම තුල අන්තර්ගත කර ඇති අනෙකුත් සේවාව සියල්ලම යතුරු පුවරුවේ process වලට කිසිඳු බලපෑමක් ඇති නොකරමින් ස්වාධිනව කටයුතු කරන බවයි.

හෙළකුරේ පරිගණකාගමනය

මුල් කාලයේදී හෙළකුරු Android සහ iOS පාදක කරගත් උපාංග සඳහා පමණක් නිර්මාණය කර නිකුත් කෙරුණත් 2017 වර්ෂයේ මැයි 18 වන දින හෙළකුරු පරිගණකයන්ටද ලබා දීමේ පළමු අදියර සිදු කෙරුණා. මුලින්ම Google Chrome සහ Chromium ව්‍යාපෘතිය යටතේ නිමැවුනු වෙබ් බ්‍රවුසර් සඳහා එය Extension එකක් ලෙස Windows, Linux සහ macOS පාදක කරගෙන ධාවනය වන පරිගණක වෙත ලබා දීම සිදු කෙරුනා.

ඉහත කී ආකාරයට Chromium ව්‍යාපෘතිය පදනම් කරගෙන නිර්මාණය කෙරුණු වෙ බ්‍රවුසර් සඳහා හෙළකුරු ලනා දුන්නත් පරිශීකයන්ට එය භාවිතා කිරීමේ හැකියාව ලැබුනේ එම වෙබ් බ්‍රවුසර් තුලදී පමණක් වුනා. එම හේතුව නිසා මෙහෙයුම් පද්ධතියන් තුල ඇති අනෙකුත් මෘදුකාංග වලදී හෙළකුරු හරහා සිංහල භාවිතා කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ.

මෙයට විසඳුමක් වශයෙන් පසුකාලීනව හෙළකුරු Windows, Linux සහ macOS සඳහා වන IME මෘදුකාංගයක් ලෙසින් ස්ථාපනය කර ගැනීමේ හැකියාව ඇති standalone මෘදුකාංගයක් ලෙස තම පරිශීලකයන්ට නිකුත් කරනු ලැබුවා. එම මෘදුකාංගය හරහා Wijesekara Keyboard Layout එක මෙන්ම Phonetic Keyboard Layout එකද භාවිතා කිරීමේ හැකියාව ලැබුණා. මෙම ලිපිය ලිවීම සඳහාද මම භාවිතා කරන්නේ හෙළකුරු for Windows Phonetic keyboard layout එකයි.

මීට අමතරව පෙර සිටම https://helakuru.lk වෙබ් අඩවිය ඔස්සේ online ක්‍රමයට හෙළකුරු සේවාව ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබුණා. ඒ අනුව මේ වන විට හෙළකුරු පහත දැක්වෙන ආකාරයට ලොව පුරා වෙසෙන සිංහල භාෂාව භාවිතා කරන්නන් හට භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

  • Android සඳහා හෙළකුරු
  • iOS සඳහා හෙළකුරු
  • Huawei ජංගම දුරකතන සඳහා හෙළකුරු
  • Windows සඳහා හෙළකුරු
  • MacOS සඳහා හෙළකුරු
  • Linux සඳහා හෙළකුරු
  • හෙළකුරු Online යතුරුපුවරුව

Performance අඩු ජංගම දුරකතන සඳහා හෙළකුරු Lite

හෙළකුරු Super App එකක් බවට පරිවර්තනය වීමත් සමඟම performance අඩු low end Android ජංගම දුරකතන හිමියන්ගෙන් මැසිවිලි නැගෙන්නට වූයේ තම ජංගම දුරකතනයන්හිදී හෙළකුරු භාවිතා කිරීමේදී යම් අපහසුතාවයන් පැන නගින බවයි. එම අපහසුතාවයන් අතර ජංගම දුරකතනයේ වේගය අඩාල වීම, හෙළකුරු යතුරු පුවරුව හිටිහැටියේම ක්‍රියාවිරහිත වීම වැනි ගැටළු වැඩියෙන් වාර්තා උනා. මෙම ගැටළු වැඩියෙන්ම පැන නැගුනෙ RAM ධාරිතාවය 2GB වලට වඩා අඩු ජංගම දුරකතනයන් වලදීය.

මෙම ගැටළුවට පිලියමක් ලෙස Low end ජංගම දුරකතනයන් වලටම විශේෂිත වූ හෙළකුරු Lite හඳුන්වා දීම 2019 වර්ෂයේදී සිදු කෙරුනා. 2021 වර්ෂයේදී හෙළකුරු Lite ඕනෑම Android ජංගම දුරකතනයක භාවිතා කිරීමට හැකියාව ලබා දෙමින් එහි 2.0 සංස්කරණය හෙළකුරු Lite - Keyboard only වශයෙන් rebranding කරමින් මෙගා බයිට් 4.2ක ධාරිතාවයෙන් යුතුව නිකුත් කිරීම සිදු කෙරුනා. ඒ වන විටත් හෙළකුරු Lite යෙදුම downloads මිලියනයේ සීමාව පසු කර තිබීමද විශේෂත්වයක් උනා.

හෙළකුරු Lite - Keyboard only හරහා යතුරුපුවරුව පමණක් භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙන අතර voice typing පහසුකමද එයට ඇතුලත් කිරීමට භාෂා ආයතනය අමතක කරලා නෑ.

දේශීය විදේශිය වශයෙන් සම්මානයට ලක් වුනු හෙළකුරු

හෙළකුරු ලොව පුරා සිංහල භාවිතා කරන්නන් අතර කෙතරම් ජනප්‍රිය වූවාද කියනවා නම් සිංහල භාෂාව අන්තර්ජාලයේ භාවිතා කිරීමේදී තිබුනු විශාල අවහිරතාවයන් රැසක් ඉවත් කරමින් එය ඉතාමත් පහසු කාර්‍යක් බවට පත් කල හෙළකුරු ජාත්‍යන්තරව එක් සම්මානයකින්ද දේශීය වශයෙන් සම්මාන පහකින්ද ලෙස පිදුම් ලබා තිබෙනවා. එම සම්මාන පහත පරිදි වේ.

ජාත්‍යන්තර සම්මානයන්

ජාතික සම්මානයන්

Download මිලියන 10යි!!!

පසුගිය ජූනි 23 වන දින, එනම් 2021 වර්ෂයේ ජූනි 23 වන දින හෙළකුරු යෙදුම Google Playstoreහි downloads වාර ගණන මිලියන 10 කඩඉම පසු කිරීමට සමත් වුනා. ඒ පිළිබඳව හෙළකුරු නිර්මාණය කිරීමේ මූලිකත්වය ගත් ධනික පෙරේරා විසින් Facebook සටහනක් තබා තිබුනේ පහත අයුරිනි.

මෙම කඩ ඉම සැපිරීමත් සමඟම මිලියන 10ක downloads වාර ගණනක් ඉක්මවා ගිය ලංකාවේ නිපදවූ ප්‍රථම Android යෙදුම හෙළකුරු ලෙස කිරුළු පැලැන්දුවා. මිලියන 10 කඩඉම සපුරා ගැනීමට එන ගමනෙදී හෙළකුරු විසින් සපුරාගත් අනෙකුත් කඩඉම් පහත පරිදි වේ.

  • පළමු පරිශීලකයින් මිලියනය පසුකිරීම - 2016 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 2 පසු කිරීම - 2017 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 5 කඩයිම පසු කිරීම - 2019 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 8 පසු කිරීම - 2020 වර්ශයේදි

ශ්‍රී ලංකාවේ නිපදවූ යෙදුමක් downloads වාර ගණන මිලියන 10ක සීමාව පසු කිරීමට සමත් වූ හෙළකුරු නිර්මාතෲ ධනික පෙරේරා ඇතුලු භාෂා කණ්ඩායමට Android වැඩකාරයෝ අපගේ උණුසුම් සුභ පැතුම් මේ ආකාරයෙන් එක් කරන්නෙමු.

එමෙන්ම, සිංහලෙන් අකුරු කරන්නට තිබූ බාධාවන් එකින් එක ඉවත් කරමින් මෙවැනි සේවාවක් සපයන හෙළකුරු, එහි නිර්මාතෘන් සහ වර්තමාන developersලාට අපගේ ස්තූතිය පුද මෙලෙසින් පුදකරන්නෙමු.


මෙම ලිපිය සැකසීම සඳහා මගේ ඇතැම් පෞද්ගලික සටහන් මෙන්ම, භාෂා ආයතනය විසින් හෙළකුරු වෙත නිර්මාණය කර ඇති https://facts.helakuru.lk වෙබ් අඩවියේ සඳහන් ඇතැම් තොරතුරුද භාවිතා කර ඇත.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna