FRM II හෙවත් ලෝකයේ දියුණු ම පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය

FRM II හෙවත් ලෝකයේ දියුණු ම පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය

ජර්මනියේ මුල්ම පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වන FRM I සහ පවතින තත්ත්වය අනුව අවසන් පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වනු ඇති FRM II න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිහිටා ඇත්තේ එකම භූමියකයි.

මියුනිච් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අයත් එම ප්‍රතික්‍රියාකාරක ද්විත්වයෙන් FRM I ප්‍රතික්‍රියාකාරකය මේ වන විට විශ්‍රාම ගන්වා ඇති අතර එය ඇමරිකාවෙන් ආනයනය කරන ලද්දක් වෙනවා.

ඉන් දශක ගණනාවකට පසුව 2004 දී ක්‍රියාත්මක කෙරුණු FRM II ප්‍රතික්‍රියාකාරකය ජර්මානුවන් විසින් සියතින් ඉදිකරන ලද්දක් (SIEMENS සමාගම විසින්) වෙන අතර අද ලෝකයේ ඇති වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු පර්‍යේෂණ ප්‍රතික්‍රියාකාරකය වන්නේ ද FRM II ප්‍රතික්‍රියාකාරකය යි. ලෝකයේ ඇති තාප උත්පාදනයට (මෙගාවොට් 20) සාපේක්ෂව ඉහළම නියුට්‍රෝන ස්‍රාවයක් (neutron flux) උත්පාදනය කෙරෙන්නේ මේ ප්‍රතික්‍රියාකාරකයෙනි. FRM I ආසන්නයෙන් පිහිටා ඇති චතුරස්‍රාකාර ගොඩනැගිල්ල FRM IIහි සුරැකුම් කුටීරය වේ.

FRM I සහ FRM II පිහිටා ඇති භූමිය (commons.wikimedia.com)

න්‍යෂ්ටික අවි සඳහා සුදුසු තරම් අධි-සුපෝෂණයක් (93%) සහිත යුරේනියම් කිලෝග්‍රෑම් 8ක තනි ඉන්ධන එකලසකින් (fuel element) බලගැන්වෙන මේ අධිතාක්ෂණික FRM II ප්‍රතික්‍රියාකාරකය, ඉන් බාහිරට ලබාගන්නා නියුට්‍රෝන කදම්බ මගින් එක්වර පර්‍යේෂණ 40කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පහසුකම් සපයනු ලබනවා.

බැර ජලය (heavy water) මගින් නිතාමනය (moderation) කෙරෙන ප්‍රතික්‍රියාකාරකයක් වන බැවින්, සාමාන්‍ය විවෘත-තටාක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (open pool reactors) මෙන් එහි අභ්‍යන්තර පෙනුම දැක ගැනීමට ඉඩක් නැත. පහත ඇත්තේ සාමාන්‍ය ජල තටාකය (සිසිලනය සඳහා) පතුලේ ඇති විශේෂිත බැර ජල කුටීරය වේ.

FRM II හි ප්‍රතික්‍රියාකාරකයේ පෙනුම (frm2.tum.de)

න්‍යෂ්ටික හරය ඇත්තේ එහි මධ්‍යයේ ය. ප්‍රතික්‍රියාකාරකය පාලනය කිරීමට යොදාගන්නා තනි පාලක දණ්ඩ (මැද) සහ විශේෂිත ආරක්ෂණ පාලක දඬු මෙන්ම, අවශේෂ අධීක්ෂණ සහ මිනුම් උපකරණත් එහි දක්නට ලැබේ. අධි-ශක්ති නියුට්‍රෝන ලබාගැනීම සඳහා වන අංශක 2500ක් තෙක් උණුසුම් කෙරෙන මිනිරන් තාපකයක් (hot source) සහ අඩු-ශක්ති නියුට්‍රෝන සඳහා සෙල්සියස් අංශක -250ක් තෙක් සිසිල් කෙරෙන හයිඩ්‍රජන් ඉලක්කයකින් ද (cold source) ප්‍රතික්‍රියාකාරකය සමන්විත වේ.

FRM II හි භාවිතා වන විශේෂිත ඉන්ධන එකලස (frm2.tum.de)

පිළිකා ප්‍රතිකර්ම සඳහා යොදාගන්නා ලුටේෂියම්-177 නිෂ්පාදනයේ පටන්, න්‍යෂ්ටික ඉන්ධන සඳහා වන පර්‍යේෂණාගාරයක් ලෙස ද ක්‍රියාත්මක වන මේ ප්‍රතික්‍රියාකාරකය, ඉඳහිට තත්ත්ව පරීක්ෂා සහ වැඩිදියුණු කිරීම් සඳහා BMW වැනි මෝටර් රථ එන්ජින් සඳහා ද සේවා සපයනු ලැබේ. එමෙන්ම ජර්මනියේ සුප්‍රකට අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සූක්ෂම ක්ෂුද්‍ර චිප සඳහා සිලිකන් අර්ධ-සන්නායක මාත්‍රණය කෙරෙන්නේ ද මෙහි ය. තාක්ෂණික පර්‍යේෂණ සඳහා මේ ප්‍රතික්‍රියාකාරකය කෙතරම් ආකර්ෂණීය ද යත්, මුළු වසර පුරාම ඊට ලබාදිය හැකි පර්‍යේෂණ කාලයටත් වඩා වැඩි ප්‍රමාණයක් එය භාවිතා කිරීම සඳහා ඉල්ලීම් ලැබෙන බව දැනගන්නට ඇත.

භාවිතා කළ ඉන්ධන තැන්පත් කෙරෙන තටාකය (frm2.tum.de)

මේ විශ්මිත තාක්ෂණික නිර්මාණය ගැන සියලු විචිත්‍ර කතන්දර කියන්නට මේ ඉඩ ප්‍රමාණවත් නොවන නමුත්, ඒ වෙත ඔබ කැඳවාගෙන යාමට මට හැකි ය. මේ වෙබ් ලිපිනය මගින්, මේ විසිතුරු නිර්මාණය වෙත අථත්‍ය පිවිසුමක් (virtual tour) කරන්නට ඔබට හැකියාව ලැබෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara